Tuesday, February 6, 2018


ජපන් සංස්කෘතිය විදහා දක්වන මල් කලාව ....

ඉකෙබානා



“ මිනිස් ජීවිතයේ, ලෝකයේ ඇති සතුට අත්විදීමට
   ගෙවත්තේ, ලන්දේ පිපෙන මලක් ගෙන ආලින්දය සරසනු....
   මනරම් වූ පුෂ්පයන්ට ඇලුම් කරන පුද්ගලයන් යනු,
   පුෂ්පයන් හා සමාන හදවත් ඇත්තන්ය....”
                                                              - මෙයිෂුසාමා -                 
යහපත් වූ සුන්දර ලොවක් ගොඩනැගීමේ කාර්යයේ දී කලාව සුවිශේෂී මෙහෙවරක් ඉටු කරනු ලැබේ. උසස් කලාවන්හි නියැලීම හා රසවිදීම තුළින් ආධ්‍යාත්මික සංවර්ධනයක් ද සිදුවනු ඇත. ජපානය තුළ ඇති එවැනි උසස් කලාවක් ලෙස ඉකෙබානා මල් සැකසුම් කලාව පෙන්වා දිය හැක. මලක විසිතුරු බව දැනෙනුයේ අපගේ නෙතට පමණක් නොව. ස්වභාවධර්මයේ අපූර්ව නිර්මාණයක් ලෙසින් මෙන්ම මහත් ආශ්චර්යක් ලෙසින් ද සැලකෙන මල් නෙත ගැටුමෙන් පුද්ගලයන්ගේ සිතට ද මහත් අස්වැසිල්ලක් ලැබෙනු ඇත.



          එසේ නෙතට මෙන්ම ආධ්‍යාත්මයට ද අස්වැසිල්ලක් ලබා දෙන මල් කලාවකි ඉකෙබානා මල් සැකසුම්  කලාව. මෙය ජපන් සංස්කෘතියේ තිබෙන තවත් සුවිශේෂී අංගයක් වන අතර එය ජපානයටම ආවේණික වූවකි. මෙම කලාව පුරාණ ජපානයේ පැවතුණා වූ මල් සැරසීමේ කලාවක් වේ. ඉකෙබානා යන්නෙහි වචනාර්ථය ගත් කල “ ඉකෙ ” යනුවෙන් අදහස් වන්නේ “ ජීවමාන බව හෝ පිළියෙළ කරනවා ” යන අරුතයි. “ බානා ” යනුවෙන් අදහස් වනුයේ, “ මල් ” යන්නයි. බුදුරජාණන් වහන්සේට මල් පූජා කිරීමේ සිරිත මුල් කරගෙන ජපානයට අවේණිකව බිහි වුණා වූ මෙම මල් සැරසිලි කලාව 16 වන සියවසේ දී ආරම්භව ඇත. මෙකී මල් සැරසිලි වෙනුවෙන් මල් පොහොට්ටුවේ පටන් වියළි පත්‍ර දක්වා වූ කොටස් තෝරා ගැනීමෙන් ජීවිතයේ බාල, තරුණ, මහලු යන සංකල්පයන් අර්ථ දැක්වෙන බවත් අදහස් වේ. මෙහි තවත් අර්ථකතනයකට අනුව පෙන්වා දෙන්නේ මෙම මල් කලාව තුළින් පවුල පිළිබද සංකල්පය මූර්තිමත් වන බවයි. ජපානය තුළද පැවතෙනුයේ පීතෘ මූලික සමාජයකි. මල් සැරසිලි වෙනුවෙන් තෝරා ගනු ලබන මල්, කොළ සහ බදුන යන්නෙන්  පියා, මව හා දරුවා යන සංකල්පය අර්ථවත් වන බවද සදහන් වේ.  කෙසේවෙතත් ඉකෙබානා යනු, හුදෙක් මල් සැරසිලි කලාවක් පමණක්ම නොවන අතර, මෙමගින් ජපන් ජාතිකයන් සතු ඉහළ මානසිකත්වයද පිළිබිඹු වේ.


          ඉකෙබානා මල් කලාව ප්‍රධාන සම්ප්‍රදායන් තුනකින් සමන්විත වේ. 
·        ඉකෙනොබො
·        ඔහාරා
·        සොගෙත්සු
               එම සම්ප්‍රදායන් ය. 

මෙම සම්ප්‍රදායන් අතුරෙන් වඩාත් වැදගත්, ප්‍රධාන ම මෙන්ම පැරණිම ක්‍රමය වන්නේ, බෞද්ධ භික්ෂුවක් වන ඉකෙනොබො සෙන්සෙයි විසින් ආරම්භ කරන ලද ඉකෙනොබො සම්ප්‍රදායයි. ඉකෙබානා මල් සැකසුම් කලාවේ ආරම්භය වන්නේ ද ඉකෙනොබො සම්ප්‍රදායෙනි. මෙම සම්ප්‍රදාය “ රික්තා ” හෙවත් කෙළින් සිටවන ලද මල් යනුවෙන් ද හදුන්වනු ලැබේ. මෙම සැරසිලි ක්‍රමය සදහා මල් කිහිපයක්, අතු කැබලි කිහිපයක් මෙන්ම මැටියෙන් සාකසන ලද තරමක් උස් භාජන ද අවශ්‍ය වේ.


1868 වසරේ සිට 1912 දක්වා ජපානයේ පැවති මෙයිජී යුගයේ දී සිදු වුණා වූ සමාජ විපර්යාසයන්ට අනුකූලව ඉකෙබානා මල් කලාව ද වෙනස් විය. ඒ අනුව මෙම යුගයේ දී ගොඩනැගුණ සම්ප්‍රදාය “ ඔහාරා ” යනුවෙන් හදුන්වන අතර මෙකී සම්ප්‍රදාය ගොඩනගන ලද්දේ “ ඔහාරා ඔෂීන් ” විසින් ය. මෙම සම්ප්‍රදායේ දී මූලිකත්වය ලබා දෙනුයේ භුමි දර්ශන පෙන්වීමට ය. එමෙන් ම මොහු විසින් “ මොරිබානා ” නැමැති ක්‍රමය ද හදුන්වා දුන් අතර ම “ මොරිබානා ” යනුවෙන් හදුන්වනු ලබන්නේ ගොඩගසන ලද මල් යන අර්ථයයි. එහිදී මල් සැකසීම සදහා භාවිතා කරන බදුන් අවම ලෙස භාවිතා කරනු ලැබේ.  


ඉකෙබානා කලාවේ අලුත්ම සම්ප්‍රදාය වන්නේ, සොගෙත්සු සම්ප්‍රදායයි. මෙම සම්ප්‍රදාය ආරම්භ කරන ලද්දේ 1900 - 1977 වකවානුවේ ජිවත් වූ “ තෙෂිගරා සොෆු ” විසින් ය. මෙහි දී මල්, අතු කැබලි මෙන් ම වානේ වලින් නිර්මිත නොයෙක් ආකාරයේ කුඩා ආකෘති භාවිතා කරනු ලැබේ.



මෙම මල් කලාව ජපන් ජනතාවගේ ජන ජීවිතයේ  උදා වන්නා වූ නොයෙකුත් ආකාරයේ විශේෂ අවස්ථා වලදී භාවිතා කරනු ලැබේ. “ හිනාමත්සුරි ” නැමැති බෝනික්කන් උත්සවයේදීත්, තරු උත්සවයේදීත්, තේපානෝත්සව වලදීත් මෙකී ඉකෙබානා මල් කලාව භාවිතා කරනු ලැබේ. එසේම වර්තමානය වන විට ජපානය තුළ මෙකී ඉකෙබානා මල් කලාව පිළිබදව උගන්වන ඉකෙබානා පාසල් 3000 කට අධික ප්‍රමාණයක් පවතී.

කාලයත් සමග ජපානයේ කලාත්මක සිතුවිලි තුළ ද නවතාවයන් ඇති වී තිබෙන අතර ඒ අනුව ඉකෙබානා මල් කලාවේ ද නොයෙකුත් නව ප්‍රවණතා ඇති වී තිබේ. ඒ අනුව වර්තමානය වන විට ජපානය තුළ “ මොරිබානා ”  හා “ නගරෙයි ” යන සම්ප්‍රදායන් ද ඉමහත් ප්‍රසිද්ධියක් උසුලනු ලැබේ. මොරිබානා නැමැති ක්‍රමයේ දී ඉදිකටු තුඩු සහිත භාජනයක මල් රැදවීම සිදු කරන අතර, නගරෙයි ක්‍රමය සදහා මල් රැදවීමට භාවිතා කරනු ලබන්නේ නොයෙකුත් ආකාරයේ අමුද්‍රව්‍ය යොදා ගනිමින් නිර්මාණය කරන ලද භාජනය.  

මේ අනුව පෙනී යන්නේ ජපානය තුළ ඇති ඉකෙබානා මල් කලාව, හුදෙක් මල් කලාවක් පමණක් නොව ජපන් ජාතිකයන් සතු ඉහළ මානසිකත්වයද පිළිබිඹු වන කලාවක් බවයි. 


Friday, January 12, 2018

ජපානයෙන් උපත ලැබූ සකේ....





ජපානය යනු ලෝකයේ දියුණු රටවල් අතර ඉදිරියෙන් ම සිටින රටක් ලෙස හදුන්වා දිය හැකිය. ඉතා ඉපැරණි හා ශ්‍රේෂ්ඨ සංස්කෘතියකට උරුමකම් කියන්නා වූ ජපානයේ ආහාර සංස්කෘතියට හිමි වනුයේ සුවිශේෂී ස්ථානයකි. විශේෂයෙන් ම  ජපන් ජාතිකයන් ඉතා පෝෂ්‍ය ගුණයෙන් යුත් සංඝටක අඩංගු ආහාර ඔවුන්ගේ දිනපතා ආහාර වේලට එක් කර ගැනීමට වැඩි වශයෙන් උනන්දු වේ. මෙවැනි සුවිශේෂී ජීවන රටාවක් ගත කරන්නා වූ ජපන් ජාතිකයන්ට ම විශේෂිත වූ පානයක් ලෙස “සකේ” හදුන්වා දිය හැකිය.

මධ්‍යසාරයක් වන සකේ පානයේ උපත සිදුවන්නේ ද ජපානයේමය. එසේම සකේ නිෂ්පාදනය සදහා භාවිතා කරන්නා වූ තාක්ෂණය ද  ජපානයට ම ආවේණික වූ තාක්ෂණයක් වීම සුවිශේෂී කරුණකි. සහල් පැසවීමට ලක් කිරීමෙන් පසුව සිදු කරන නිෂ්පාදන ක්‍රියාවලිය පසුව පෙරීමට ලක් කිරීමෙන් සකස් කරගනු ලබා සකේ පානය “වයින් සහල්” යනුවෙන් ද ඇතැම් රටවල හදුන්වනු ලැබේ. මෙම පානයේ මධ්‍යසාර අන්තර්ගතය 18% ත් 20% ත් අතර අගයක් ගනු ලබන අතර මෙය වයින් සහ බීර වලට වඩා වෙනස් ස්වරූපයක් ගනු ලැබේ. ජපන් සංස්කෘතියේම අංගයක් බවට පත්ව ඇති සකේ පානයට ඔවුන් දක්වනුයේ අධික කැමැත්තක් සහ ආදරයකි.  එසේම ඔවුන්ගේ විශේෂ අවස්ථාවන්හී දී පවා මෙම පානය පිළිගන්වන අතර, එවිට “ටෝක්කුරි” නම් කුඩා මැටි බදුනක පිළිගන්වනු ලබයි. එසේම සකේ පානය කිරීමට ද කුඩා කෝප්පයක් ඇති අතර එය හදුන්වනු ලබන්නේ, “සකාසුකි” නමිනි. 


ජපානයේ ඉතිහාසය  විවිධ යුග වලට බෙදා වෙන්කර හදුන්වන අතර, සකේ පානයේ ආරම්භය “නරා” නම් යුගය (ක්‍රි.ව. 710 - 794) දක්වා දිව යයි. ඉතා දීර්ඝ ලිඛිත ඉතිහාසයකට උරුමකම් කියන ජපානයේ පැරණි පොත් පත් වල එකල ජපානයේ මධ්‍යසාර භාවිතය පිළිබදව ද, සහල්, කෝපි සහ වතුර මිශ්‍ර කර සකස් කළ සබෑ සකේ පිලිබදව ද ලියැවී ඇත. “හෙයියන්” නම් යුගයේ දී ආගමික උත්සව, විනෝද ක්‍රීඩා සහ උසාවි තුළ පැවති උත්සව වැනි අවස්ථාවන් වල දී සකේ භාවිතා කර ඇත. 


සකේ සැකසීම සදහා සහල්, වතුර සහ ඊස්ට් යන ප්‍රධාන අමුද්‍රව්‍ය යොදා ගන්නා අතර, සකේ පෙරීමට භාවිත කරන්නා වූ විශේෂ සහල් වර්ගය “ෂුසො කොටෙකිමායි” නොහොත් “සකේ සහල්” යනුවෙන් හදුන්වනු ලැබේ. මෙම සහල් වල පවතින්නා වූ විශේෂත්වය වනුයේ, එම සහල් විශාල සහ ශක්තිමත්භාවයෙන් යුක්ත වීමයි. එසේම සකේ පානය සැකසීමට යොදා ගනු ලබන සකේ සහල් වල සුළු වශයෙන් ප්‍රෝටීන් හා ලිපිඩ ද අඩංගු වේ. තවද මෙම සහල් වර්ගයට අයත්  සකේ නිෂ්පාදනය කිරීමට යොදා ගන්නා විවිධ සහල් ප්‍රභේද 80 ක් පමණ අද වන විට ජපානය තුළ තිබේ. 


ප්‍රධාන සකේ වර්ග දෙකක් ඇත. ඒවා නම්, “ෂුට්සු-ෂු” නොහොත් “සාමාන්‍ය සකේ” සහ “ටොකුටෙ මෙයිෂෝ-ෂු” නොහොත් විශේෂිත සකේය. සාමාන්‍ය සකේ, වයින් වලට බොහෝ සෙයින් සමාන වන අතර, විශේෂිත සකේ යනු, සුවද මුසු කළ සකේ ය. තවද විශේෂිත සකේ වර්ග 8ක් පමණ තිබේ. සකේ පානය ජපන් ජාතිකයන් විසින් පානය කිරීමට පෙර තමන්ගේ වාර්ෂික අස්වැන්න සරු කර දෙන මෙන් ඉල්ලමින් දෙවියන්ට පුජා කිරීමට පුරුදු වී සිටීමෙන් පෙනී යනුයේ සකේ පානය ඔවුන්ගේ සංස්කෘතියට කොතෙක් දුරට මුල් බැස ගෙන ඇත්ද යන්නයි. විශේෂයෙන් මෙම පූජා විධිය “ඔමිකි” හෝ “මිකි” යනුවෙන් හදුන්වනු ලැබේ. තවද දෙවන ලෝක යුද්ධ සමයේ ජපන් ජාතිකයන් විසින් ඔවුන්ගේ මෙහෙයුම් වලට පිටත් වීමට පෙර සකේ පානය කිරීමට පුරුදුව සිටියේ එමගින් දෙවියන්ගේ ආශිර්වාදය ලබා ගැනීමට පතමිනි. 


සකේ පානය විවිධ මාර්ග ඔස්සේ ජපන් සංස්කෘතිය හා බැදී පවතින ආකාරය දැකගත හැකිය. විශේෂයෙන්ම විවිධ උත්සව අවස්ථාවන්හිදී හා මංගල්‍ය හා ආවමංගල්‍ය අවස්ථාවන්හිදී ද සකේ පානයට වැදගත් ස්ථානයක් හිමි වී ඇත. ආගමික උත්සව තුළදී සකේ කිසියම් දානමය ආකාරයෙන් පිළිගන්වන අතර, සැණකෙළි අවස්ථාවන්හිදී විනෝදාස්වාදය සදහා එකිනෙකා වෙත සකේ විසිකර ගැනීම, භූමිය මත විසුරුවා හැරීම සිදු කරනු ලැබේ. ඒ තුළින් ප්‍රීතිය ප්‍රකාශ කිරීම, පවිත්‍රත්වය හා දෙවියන් සතුටු කිරීම ආදී දෑ බලාපොරොත්තු වේ. තවදුරටත්, විශාල ව්‍යාපාර කටයුත්තක් ආරම්භයේදී හෝ විවාහ ගිවිස ගැනීමකදී සකේ පානයට  විශේෂිත වූ කෝප්පයක් යොදා ගනු ලැබේ. විශේෂයෙන් ම විවාහ ගිවිස ගැනීමකදී මනාලයා හා මනාලිය එකම භාජනයකින් සකේ පානය කරමින් ඉදිරි අනාගතයේදී පැන නැගිය හැකි ඕනෑම ගැටළුවක් සමව බෙදා ගැනීමේ කැමැත්ත ප්‍රකාශ කරති. 


එසේම, විවිධාකාර වර්ණයන්ගෙන් හා හැඩයන්ගෙන් යුක්තව සකසන ලද සකේ බෝතල් දක්නට ලැබේ. සුදු පැහැති සකේ බෝතල් තුළින් දෙවියන් සදහා වූ පුජනීයත්වයක් පිළිබිඹු කරනු ලැබේ. එය පිරිසිදු හා ශුද්ධ ස්වභාවයක් උසුලයි. එසේම රතු සහ කහ පැහැති බෝතල් තරමක වෙනස් ස්වරූපයක් උසුලන අතර, රන් සහ රිදී පැහැයෙන් සරසන ලද සකේ බෝතල් තුළ අන්තර්ගත සකේ පානයේ රසය වෙනස් ස්වරූපයක් ගනී. මංගල සාද වැනි උත්සව වඩාත් විශේෂවත් කිරීමට ඒවා භාවිතා කරනු ලැබේ. 


ශතවර්ෂ ගණනාවක් මුළුල්ලේ ජපන් ජන ජීවිතයේ කොටසක් වූ සකේ පානය අද වන විට ලෝකය පුර ජනප්‍රිය පානයක් වී ඇත. එසේම ලෝකයේ කිසිදු රටක මධ්‍යසාරයක් වෙනුවෙන් දිනයක් වෙන් කර නොමැති නමුත්, ජපානයේ සකේ පානය වෙනුවෙන් ඔක්තෝම්බර් 01 වැනිදා රාජ්‍ය දිනයක් ලෙස ද නම් කර තිබේ. එදින සාමාන්‍ය සකේ පානය කිරීමට වඩා උත්සවශ්‍රීයෙන් සහ සම්ප්‍රදායට මුල් තැන දෙමින් සකේ පානය කරනු ලැබේ. මේ අනුව පෙනී යනුයේ ජපන් ජනතාවට සකේ මධ්‍යසාර පානයක් ම පමණක් නොව, ඔවුන්ගේ සංස්කෘතියේ වැදගත් ස්ථානයක් උසුලන පානයක් බවයි. 

Monday, January 8, 2018

ජපානයේ සුප්‍රසිද්ධ කඩදාසි කලාව...

ඔරිගමි


පාට පාට කඩදාසි යොදගෙන ඇගිලි තුඩු වලින් නිර්මාණය කරන අදහාගත නොහැකි අපූරු නිර්මාණයකි ඔරිගමි. ඔරිගමි සම්භවය ගැන කුමන කතා පැවතියද ලොවම හදුන්වන්නේ එය ජපානයෙන් ලොවට උරුම වූවක් ලෙසය. නමුත් දැන් එය අන්තර්ජාතික වශයෙන් සිදු කරන්නා වූ විනෝදාංශකි. පාට පාට කඩදාසි හරි අපූරුවට නවා විවිධ හැඩතල නිර්මාණය කිරීම අදහාගත නොහැකි විශ්මයකි. ඉතා ආකර්ෂණියව සිදු කෙරෙන මෙම කාර්යයට ඇත්තේ දිගු ඉතිහාසයකි. “ඔරු” යන වචනයෙන් සැදුනු “ඔරි” යන වචනයේ අර්ථය “නැවීම” යන්නයි. “ගමි” යනු   “කඩදාසි” යන්නයි. ඒ අනුව ඔරිගමි යනු “කඩදාසි නැවීම” වේ. ඔරිකටා, ඔරිසු, ඔරිමොනෝ ආදී වූ නම් වලින් ද මෙය ජපානය තුළ ප්‍රචලිතය. ඇතැගිලි වලින් තැණුන ද දෑතට දිය නොවන ඔරිගමි කලාව දරුවන්ගේ කාලය පියවන විනෝදාංශයක් පමණක් නොව බුද්ධි ප්‍රබෝධයට දැල් වුණු නැණ පහනක් බදුය.
හය වැනි සියවසේදී භික්ෂූන් වහන්සේලා ජපානයට කඩදාසි රැගෙන පැමිණිමෙන් පසු මෙම ඔරිගමි කලාව ජපානය තුළ ප්‍රචලිත විය. නමුත් මුල් කාලීනව කඩදාසි සදහා වැය වන මිල ඉහළ මට්ටමක පැවැතුණ බැවින් ඔරිගමි නිර්මාණ කෙරුණේ ආගමික උත්සව සදහා පමණි. ළමා ඉගෙනුම් උපකාරකයක් ලෙස මෙකී ඔරිගමි කලාව යොදා ගනු ලබන්නේ දහනව වැනි සියවසේ මුල සිටය. කඩදාසි කොකුන් දහසක් තැනූ විට තමන්ගේ ප්‍රර්ථනා මල්පල ගැන්වෙන බවට විශ්වාසයක් ජපන් ජාතිකයන් අතර පවතී. 




ඔරිගාමී තුළින් නිර්මාණය කරනා වූ කඩදාසි කොකා සාම සංකේතයක් බවට පත් වුයේ දෙවැනි ලෝක යුද්ධයේ දී හිරෝෂිමාවට පරමාණු බෝම්බ හෙළු පසුවය. පරමාණු බෝම්බයට හසු වී දිවි ගලවා ගත් “සදකෝ සසාකි” නම් දැරිය වයස අවුරුදු දොළහේදී (1955 වසරේදී) තමන් ලියුකේමියා රෝගයට ගොදුරු වී සිටින බව දැනගත් අතර මරණයේ අභියස සිට ඇය ඔරිගමි කොකුන් තැනීමට පටන් ගනු ලැබුවේ, තමා රැකගැනීමට ආශිර්වාද ලබා ගැනීමටය. නමුත් පරමාණු බෝම්බයට ගොදුරු වී දිවි ගලවාගත් තවත් බොහෝ දරුවන් ලියුකේමියා රෝගයෙන් පෙලෙන බව දැනගත් ඇය සමය උදෙසා කොකුන් තැනුවාය. මියයාමට පෙර ඇයට සෑදීමට හැකි වුයේ කොකුන් 644 ක් පමණි. ඇගේ මිතුරන් කොකුන් දහස සම්පුර්ණ කළ අතර, ඇය මිහිදන් කෙරුණේ කොකුන් දහස සමගිනි. ඒ ඇගේ සිහිනයට ගෞරවයක් ලෙසිනි. හිරෝෂිමා සාම උද්‍යානයේ සදකෝ ගේ ප්‍රතිමාවක් ඇත. එහි සදකෝගේ ඇගිලි තුඩුවල සිට ඉහළ යාමට සූදානම් වන කොකෙකු දැක්වෙයි. 



ඔරිගමි කොකෙකුගේ පියාපත් මත සදකෝ ලියූ හයිකු කවිය අදට ද ජපානය තුල ඉතා ප්‍රසිද්ධය. ඒ කවියේ අරුත වනුයේ,
“ මම සාමය ඔබේ තටු මත ලියමි. නුබ ලොව වටා ඉගිළ ගොස් මෙවන් විපතක් යළි දරුවන්ට නොවේවායි පතන්න.... ”
සදකෝ තැනූ කොකුන් ඔරිගමි කලාව නොනැසෙන, ඇතේ ඇගිලි තුඩු වලට දියවී යන තවත් කඩදාසි කලාවක් නොවන බවට සාක්ෂි සපයයි. මෙම ඔරිගමි කලාව තුලින් විවිධ කුරුල්ලන් වර්ග, මල් වර්ග, සමනලුන්, තරු, බෝට්ටු, කුඩා පෙට්ටි වැනි විවිධ නිර්මාණ කරනු ලැබේ. පහත සදහන් වනුයේ ඔරිගමි නිර්මාණ සාදා ගන්නා පියවරයන් ය.


පියවර 01


පියවර 02


පියවර 03


පියවර 04



 ⭀

Saturday, January 6, 2018


ඇසට සුන්දරත්වය මිස දිවට රස නොසොයන ජපන් ආහාර සංස්කෘතිය ......


ආහාරය වැදගත් වන්නේ ජීවිතයේ පැවැත්මට වුවත් බොහෝ දෙනා ආහාර නිසාම ජිවිතයේ වටිනාකම අතරමගදී නැති කරගන්නවා. නමුත් ජපන් ජාතිකයන් මෙම කාරණය සම්බන්ධයෙන් ඉතා කල්පනාවෙන් කටයුතු කරන බව ඔවුන්ගේ ආහාර සංස්කෘතිය පිළිබද සොයා බලද්දී පෙනී යන කරුණක්. විශේෂයෙන්ම ජපන් ජාතිකයන් ආහාරයෙහි අන්තර්ගතය, සෞඛ්‍ය ආරක්‍ෂිතභාවය, වර්ණය, රසය වැනි කරුණු මෙන්ම ඒවා පිළියෙළ කරන ස්ථානය, ආහාර බහා ඇති භාජනයේ තත්ත්වය, ඒවා පිළිගන්වන පුද්ගලයාගේ ඇදුම වැනි බොහෝ කරුණු පිළිබදව විශාල අවධානයක් දක්වනු ලැබේ.




විශේෂයෙන්ම ජපන් ජාතිකයන්ගේ ආහාර රටාව වෙන්වෙලා තිබෙන්නේ ඇස වලින් බලා රස විදින්නට මිස දිව පිනවන්නට නොවෙයි. ඔවුන් ආහාරය තම ඇසට අලංකාරයක් ගෙන එන ආකාරයට ගොඩනගා ගැනීමට විවිධ හැඩවලට කැපීම, හුමාලයෙන් තම්බා ගැනීම, තෙලෙන් බැද ගැනීම වැනි ක්‍රමෝපායන් යොදා ගන්නවා.


ලංකිකයන්ට මෙන්ම ජපන් ජාතිකයන්ට ද බත් යනු විශේෂ ආහාරයක්.  ජපන් ජාතිකයන්ගේ ප්‍රධාන ආහාරය වන බත් ජපන් භාෂාවෙන් හදුන්වන්නේ “ගොහාන්” යනුවෙන්. මොවුන් ආහාරයේ ගුණාත්මක බව පිලිබදව විශේෂයෙන් සැලකිලිමත් වෙනවා. ඔවුන්ගේ හැම ආහාර වේලකටම මස්, මාළු වගේම එළවළු ද මිසෝ නමින් හදුන්වන සුප් හා අච්චාරු විදිහට සකස් කරන ලද එළවළු ද ඇතුලත් වෙනවා. 


ජපන් ජාතිකයන් බොහෝම විනය ගරුක පිරිසක්. ආහාර අනුභවයේදීත් ඔවුන්ගේ එකී විනය ගරුක බව ඉතා ඉහළයි.  විශේෂයෙන් ආහාර අනුභවයට පෙරාතුව “ඉතාදකිමසු” කියමින් ආහාරය පිළිගන්වනවා. ඒ වාගේම ආහාරය ගෙන අවසන් වූ විට “ගොවිතෝ සමාදෙශිතා” කියමින් ආහාරය ලබා දීම වෙනුවෙන් ස්තූති කරනවා. 

චෝප්ස්ටික් හෙවත් “හෂි” ජපන් ජාතිකයන් ආහාර අනුභවයේදී භාවිතයට ගන්නා ලී කූටු දෙකක් වැනි උපකරණයකි. මෙම කලාව චීනයෙන් ජපානයට පැමිණි කලාවකි. ජපන් ජාතිකයන් චෝප්ස්ටික් භාවිතා කළත් ඒවා අන් අය දෙසට එල්ල කිරීමක් හෝ ආහාර බදුන් මත සිරස්ව තැබීමක් සිදු නොකරයි. චෝප්ස්ටික් ආධාරයෙන් ආහාර ගැනීම එක්තරා ආකාරයක අභියෝගයක්. නමුත් එය අපුරු කලාවක්. පහත පින්තුර හා වීඩියෝ මගින් හෂි ආධාරයෙන් ආහාර ගන්නා ආකාරය පිළිබඳවැ ඔබට දැනගත හැකිය. 

පියවර 01


පියවර 02


 පියවර 03


පියවර 04


පියවර 05


පියවර 06





ජපානය ගැන බිදක් ......

ජපානය ආසියා මහාද්වීපයේ පිහිටා ඇති අතිශයින්ම සුන්දර රටකි. ජපානය පළාත් 47 කට බෙදා තිබෙන අතර භූගෝලීය හා ඓතිහාසික කරුණු සලකා බලා මෙම පළාත් 47 ප්‍රදේශ 9 කට බෙදා ඇත. හොකයිදෝ, තොහොකු, කන්තෝ, චුබු, කින්කි, චූගොකු, ෂිකොකු, කියුෂූ, ඔකිනවා එම ප්‍රදේශ වේ.
  
ජපානයේ සිතියම




අගනගරය - තෝකියෝව
ජනගහනය - මිලියන 126.4
වර්ග ප්‍රමාණය - වර්ග කිලෝමීටර 377,864
ප්‍රධාන භාෂාව  - ජපන් භාෂාව
ආගම්  - ෂින්ටෝ දහම හා බුදු දහම
මුදල් ඒකකය  - යෙන්

සාක්ෂරතා මට්ටම - 99%


ජාතික ධජය


ජපන් ජාතික ධජය හැදින්වෙන්නේ “හිනොමරු” යන නමිනි. මෙම ජාතික කොඩිය භාවිතයට පැමිණියේ 19 වන ශතවර්ෂයේ අගභාගයේදී වන අතර සුදු පසුබිමක මැද ඇති රතු කවය හිරු සංකේතවත් කරයි.

ජාතික ගීය




   පද රචනය     -  නිර්නාමිකය
සංගීතය         -  හයාෂි හිරොමොරි

ජපන් ජාතික ගීයේ පදවැල ජපනයේ දිගු කාලීන සාමය හා තිරසාර සෞභාග්‍යය උදෙසා ප්‍රාර්ථනයකි.